අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ පවතින ආරක්ෂක දෙපාර්තමේන්තුව, එරට ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදකයන් වන ෆෝඩ් (Ford) සහ ජෙනරල් මෝටර්ස් (GM) සමාගම් වෙත අසාමාන්‍ය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ ඔවුන්ගේ විදුලි වාහන (EV) නිෂ්පාදන සැලසුම් තාවකාලිකව පසෙක තබා, අවි ආයුධ සහ මිලිටරි උපකරණ නිෂ්පාදනය ඉහළ නැංවීමට ඇති හැකියාව සොයා බලන ලෙසයි.
පසුගිය බ්‍රහස්පතින්දා (16) ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් සහ GM ප්‍රධාන විධායක නිලධාරිනි මේරි බැරා සහ ෆෝඩ් ප්‍රධාන විධායක නිලධාරී ජිම් ෆාර්ලි අතර මේ සම්බන්ධයෙන් මූලික සාකච්ඡා පවත්වා ඇත. රථවාහන කර්මාන්තශාලා සතු ශ්‍රම බලකාය, ඉඩකඩ සහ නිෂ්පාදන පද්ධති භාවිත කරමින් යුදෝපකරණ නිෂ්පාදනය පුළුල් කිරීම රජයේ අරමුණයි. GE Aerospace සහ Oshkosh වැනි සමාගම් ද මෙම වැඩපිළිවෙළට සම්බන්ධ කරගෙන තිබේ.
2025 වසරේදී 10.6% ක් ලෙස ඉහළම මට්ටමක පැවති අමෙරිකානු විදුලි වාහන අලෙවිය, 2026 පළමු කාර්තුව වන විට 5.9% දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. විදුලි වාහන සඳහා පවතින ඉල්ලුම අපේක්ෂිත ප්‍රමාණයට වඩා අඩු වීම නිසා කර්මාන්තශාලාවල පවතින අමතර ධාරිතාවය යුද කටයුතු සඳහා යොදා ගැනීමට රජය මෙලෙස උත්සාහ කරයි.
චීන සමාගම් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ෆෝඩ් සමාගම දැඩි පීඩනයකට ලක්ව සිටී. චීන වාහන අමෙරිකාවට පැමිණීම වැළැක්විය යුතු බවට ප්‍රකාශ කරන අතරම, ලෝක වෙළඳපොළේ තරගකාරීත්වය රැක ගැනීම සඳහා චීන හවුල්කරුවන්ගේ තාක්ෂණය වැදගත් බව ද ජිම් ෆාර්ලි පෙන්වා දී ඇත. චීන සමාගම් අමෙරිකාවේ වාහන නිෂ්පාදනය කරන්නේ නම්, ඒවා අමෙරිකානු සමාගම් යටතේ පවතින ඒකාබද්ධ ව්‍යාපාර ලෙස පැවතිය යුතු බව ඔහුගේ මතයයි.
පවතින වාතාවරණය අනුව, අමෙරිකානු රථවාහන නිෂ්පාදකයින්ට විදුලි වාහන ඉල්ලුම පහත වැටීම, ආරක්ෂක නිෂ්පාදන පුළුල් කිරීමේ බලපෑම සහ චීනය සමඟ පවතින සබඳතා යළි සලකා බැලීම යන අභියෝග තුනටම එකවර මුහුණ දීමට සිදු වී ඇත.


















