අමෙරිකානු විදේශ බුද්ධි නිරීක්ෂණ පනතේ (FISA) වලංගු කාලය සුළු ප්‍රතිසංස්කරණ කිහිපයක් සහිතව දීර්ඝ කිරීමට අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ රිපබ්ලිකන් පක්ෂ නායකත්වය සූදානම් වන බව Politico පුවත් සේවය වාර්තා කරයි. අදාළ සාකච්ඡා සඳහා සම්බන්ධ වූ පුද්ගලයින් සිව්දෙනෙකු උපුටා දක්වමින් මෙම වාර්තාව ප්‍රකාශයට පත් කර ඇති අතර, ලබන සතියේ මෙම පනතේ බලය අවසන් වීමට පෙර එය සම්මත කර ගැනීම රජයේ අරමුණ වී තිබේ.
මෙම පනත මගින් අමෙරිකානු ඔත්තු සේවා ආයතනවලට, අමෙරිකානු ඩිජිටල් යටිතල පහසුකම් භාවිත කරමින් විදේශයන්හි සිටින විදේශිකයන් නිරීක්ෂණය කිරීමට නීත්‍යානුකූල බලය හිමිවේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පසුගිය අඟහරුවාදා රිපබ්ලිකන් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙම නීතිය දීර්ඝ කිරීමට එක්ව කටයුතු කරන ලෙසයි. මීට පෙර මෙම පනත සම්බන්ධයෙන් පක්ෂය තුළ විවිධ මතභේද පැවතියද, දැනට යෝජිත සුළු සංශෝධන හරහා එම එකඟතාවය ඇති කර ගැනීමට නායකත්වය සමත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














