හිටපු ෆෙඩෙක්ස් (FedEx) රියදුරෙකු වන ටැනර් හෝනර් විසින් වයස අවුරුදු 7ක දැරියක වූ අතීනා ස්ට්‍රෑන්ඩ් (Athena Strand) ඝාතනය කිරීමේ නඩුව මේ වන විට ටෙක්සාස්හිදී විභාග වෙමින් පවතී. බ්‍රහස්පතින්දා (16) අධිකරණය හමුවේ ඉදිරිපත් වූ අතිශය සංවේදී සහ කම්පන සහගත සාක්ෂි හේතුවෙන් ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක් ද සිය දැඩි විරෝධය පළ කර ඇත.
ඝාතනය සිදුවන අවස්ථාවේ පටිගත වූ ශ්‍රව්‍ය දර්ශන (audio clips) ජූරි සභාව හමුවේ වාදනය කෙරුණු අතර, එය ඇසීමෙන් ජූරි සභිකයන් පවා හඬා වැටුණු බව වාර්තා වේ. එම පටිගත කිරීම්වලදී හෝනර් විසින් දැරියට ඇඳුම් ඉවත් කරන ලෙස බල කරන අයුරුත්, දැරිය නැවත නැවතත් තම මව ඉල්ලා හඬා වැටෙන සහ කෑගසන අයුරුත් ඇසීමට ලැබී තිබේ. ඇය තමාට අවනත නොවන්නේ නම් ඇයට හානි කරන බවට ද ඔහු එහිදී තර්ජනය කර ඇත.
මෙම සිදුවීම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනකට ප්‍රතිචාර දක්වමින් ඉලෝන් මස්ක් ප්‍රකාශ කළේ, “ඔහුව වහාම මරා දමන්න” (Execute him immediately) යනුවෙනි. දැරිය තම මව ඉල්ලා හඬා වැටෙද්දී හෝනර් ඇයට සිදුකළ අමානුෂික වධහිංසා පිළිබඳ පුවත මස්ක්ගේ දැඩි කෝපයට හේතු වී තිබේ.
2022 වසරේදී සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් ටැනර් හෝනර් දැනටමත් වරදකරු බව පිළිගෙන ඇත. නිවසකට පාර්සලයක් භාර දීමට ගිය අවස්ථාවේදී අතීනා ස්ට්‍රෑන්ඩ්ව සිය රථයට නංවාගෙන ගොස් පසුව ඇයව ගෙල සිරකර මරා දැමූ බවට ඔහු පාපොච්චාරණය කළේය.
මෙම නඩුව සම්බන්ධයෙන් ටෙක්සාස් ප්‍රාන්ත නීතියට අනුව ඔහුට මරණ දඬුවම හිමිවීමේ වැඩි සම්භාවිතාවක් පවතින අතර, වත්මන් නඩු විභාගය හරහා ඔහුගේ දඬුවම තීරණය කිරීමට නියමිතය.














