බලශක්ති මිල ඉහළ යාමෙන් පාරිභෝගිකයන් සහ ව්‍යාපාරිකයන් ආරක්ෂා කිරීම සඳහා යුරෝපීය රජයන් අධික ලෙස වියදම් නොකළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. මෙලෙස අධික ලෙස සහනාධාර ලබාදීම හරහා බලශක්ති පරිභෝජනය අඩු කිරීමට ඇති වෙළෙඳපොළ උත්තේජනය අඩාල වන අතර එය රජයන්ට දැඩි මූල්‍ය බරක් වනු ඇති බවට එම ආයතනය අනතුරු අඟවයි. අමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන ගැටුම් හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ගෝලීය තෙල් සහ ගෑස් සැපයුම සීමා වී ඇති පසුබිමක යුරෝපය මෙම තීරණාත්මක තත්ත්වයට මුහුණ දී සිටියි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යුරෝපීය දෙපාර්තමේන්තු ප්‍රධානී ඇල්ෆ්‍රඩ් කැමර් මහතා පෙන්වා දෙන්නේ රජයන් සහනාධාර ලබාදීමේදී වඩාත් දුප්පත් පවුල් ඉලක්ක කර ගනිමින් කටයුතු කළ යුතු බවයි. රුසියානු බලශක්ති අර්බුදය පැවති සමයේ යුරෝපය ලබාදුන් සහනවලින් සියයට හැත්තෑවක සිට අසූවක ප්‍රමාණයක් ඉලක්කගත නොවූ පොදු සහන වූ අතර ඒ සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දෙකයි දශම පහක පිරිවැයක් දැරීමට සිදුවූ බව ඔහු සඳහන් කරයි. සහන අවශ්‍යම පිරිස් වෙත පමණක් එම සහාය ලබා දුන්නේ නම් ඒ සඳහා වැය වන්නේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට බින්දුවයි දශම නවයක් වැනි සුළු ප්‍රමාණයක් බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.














