යේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙන් වෙස්වලාගත් පුද්ගලයෙකු මීගමුව ප්‍රදේශයේ සැරිසැරීම හේතුවෙන් ඇති වූ කලබලකාරී තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ කතෝලික සභාව පවසන්නේ ජනතාව මෙවැනි වංචනිකයන්ට රැවටිය යුතු නොමැති බවයි. කතෝලික සභාවේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ප්‍රකාශ කළේ මෙවැනි සිදුවීම් හමුවේ ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත්, බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම් ගත යුතු බවත්ය.
යේසුස් වහන්සේ මෙන් ඇඳ පැළඳගත් මෙම විදේශිකයා මීගමුව කටුවපිටිය පල්ලියේ දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේදී එහි ඇතුළු වීම නිසා ජනතාව කලබලයට පත්ව ඇති අතර ඇතැම් පිරිස් ඔහුට වැඳීමට ද පෙළඹී තිබේ. අනතුරුව ඔහු මීගමුව මහා වීදිය දේවස්ථානයට ද ගොස් ඇති අතර එහි පියතුමන්ලා වහාම පොලිසිය දැනුවත් කර ඇත. වාර්තා වන පරිදි අදාළ විදේශිකයා මෙරටින් පිටුවහල් කිරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර පොලිසිය ගත් මෙම ක්‍රියාමාර්ගය ජූඩ් ක්‍රිෂාන්ත පියතුමාගේ පැසසුමට ලක්විය.














