රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කටයුතු කරමින් බෙලාරුස් රාජ්‍යය සඳහා ද අක්ත ගැන්වූ ෂෝබිනි ගුණසේකර මහත්මිය, එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවාය. මින්ස්ක් නුවර පිහිටි නිදහස් මාලිගයේදී පැවැති මෙම උත්සවයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් දහයක අභිනවයෙන් පත් වූ තානාපතිවරුන් එක්ව සිටි අතර, ඒ හරහා බෙලාරුස් රාජ්‍යය ජාත්‍යන්තර ප්‍රජාව සමඟ පවත්වන අඛණ්ඩ සබඳතාව යළිත් තහවුරු විය. එහිදී අදහස් දැක්වූ බෙලාරුස් ජනාධිපතිවරයා, සියලු රටවල් සමඟ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වූ සහයෝගීතාවයකින් කටයුතු කිරීමට සූදානම් බව අවධාරණය කළේය.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ බෙලාරුස් අතර පවතින දීර්ඝකාලීන අධ්‍යාපනික සබඳතා පිළිබඳව ජනාධිපති ලුකෂෙන්කෝ මහතා විශේෂ අවධානයක් යොමු කළ අතර, ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් පස්දෙනෙකුගෙන් එක් අයෙකු බෙලාරුස් රාජ්‍යයෙන් වෛද්‍ය අධ්‍යාපනය ලබා ඇති බව ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම දෙරට අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම, වෙළෙඳ කටයුතු පිළිබඳ අන්තර් රාජ්‍ය කොමිසම 2026 අගභාගයේදී රැස් කිරීම සහ ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයන් සංවිධානය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ. තානාපති ගුණසේකර මහත්මිය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ ජනතාවගේ සුභාශිංසන බෙලාරුස් නායකයා වෙත පිරිනැමූ අතර දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බව යළිත් තහවුරු කළාය.














