ඉරානය සමඟ පවතින සාකච්ඡා “සාර්ථක” වෙමින් පවතින බවටත්, ඉතා ඉක්මනින් එකඟතාවයකට පැමිණිය හැකි බවටත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය ඉරාන රාජ්‍ය මාධ්‍ය දැඩි ලෙස සමච්චලයට ලක් කර තිබේ.ඉරානය සතු සාරවත් යුරේනියම් අමෙරිකාවට භාර දීමට එකඟ වනු ඇති බවත්, හෝමූස් සමුද්‍ර සන්ධිය නිදහස් කර ගැනීමටත් ඉන්ධන ගැටලුව විසඳා ගැනීමටත් හැකි වන සාම ගිවිසුමක් සඳහා “ඉතා හොඳ අවස්ථාවක්” පවතින බවත් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි.
ඉරාන රජයට අයත් IRIB රූපවාහිනී සේවය පවසන්නේ අමෙරිකානු ජනාධිපතිවරයා “ආකාස මාලිගා තනමින්” සිටින බවයි. එනම් ඔහු පදනම් විරහිත සිහින දකිමින් සිටින බව ඔවුන් පෙන්වා දෙයි.
මෙම තත්ත්වය විග්‍රහ කිරීම සඳහා ඉරාන මාධ්‍ය ප්‍රකට පර්සියානු උපමාවක් භාවිතා කර ඇත: “ඔටුවා සිහිනෙන් කපු ඇට දකියි; සමහර විට ඒවා ගිල දමයි, සමහර විට ඇටයෙන් ඇටය අනුභව කරයි.” ඉරාන සංස්කෘතියට අනුව මෙම උපමාව භාවිතා කරන්නේ යථාර්ථයට වඩා බෙහෙවින් ඈත, කිසිදා ඉටු නොවන මනඃකල්පිත බලාපොරොත්තු විස්තර කිරීමටය.
ඉරානයේ යුරේනියම් තොග භාර දීම වැනි බරපතල කරුණු සම්බන්ධයෙන් කිසිදු එකඟතාවයකට පැමිණ නැති බවත්, ට්‍රම්ප්ගේ ප්‍රකාශ හුදෙක් ප්‍රචාරක උපක්‍රම බවත් ඉරාන පාර්ශවයේ අදහසයි. ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක බලශක්ති වෙළෙඳපොළ දැඩි අර්බුදයකට පත්ව ඇති පසුබිමක මෙම ප්‍රකාශයන් සිදු වීම විශේෂත්වයකි.














