2026 වර්ෂයේ 1 ශ්‍රේණියේ දෙවන සහ තුන්වන පාසල් වාරවලට අදාළ ක්‍රියාකාරකම් පොත් බෙදාහැරීම සහ ගුරු පුහුණු වැඩසටහන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නවතම තීරණ කිහිපයක් ගෙන තිබේ.
1 ශ්‍රේණියේ දෙවන සහ තුන්වන වාර සඳහා වන ක්‍රියාකාරකම් පොත් බෙදාහැරීම මේ වන විටත් ආරම්භ කර ඇති අතර, අප්‍රේල් මස 30 වන දින වන විට දිවයිනේ සියලුම පාසල් වෙත එම පොත් බෙදා අවසන් කිරීමට නියමිතය.
1 ශ්‍රේණියේ නව විෂය මාලාවන් පිළිබඳව ගුරු උපදේශකවරුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන් මේ වන විටත් ක්‍රියාත්මක වේ. පවතින අවශ්‍යතාවය මත ලබාදෙන අමතර පුහුණු කිරීම් මැයි මස 16 වන දින වන විට අවසන් කරන ලෙස පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් දී ඇත.
යම් හෙයකින් පළමු පාසල් වාරය තුළදී 1 ශ්‍රේණියේ විෂය කොටස් ආවරණය කිරීමට නොහැකි වූ පාසල් පවතී නම්, එළඹෙන දෙවන පාසල් වාරය තුළ එම කොටස් සම්පූර්ණ කිරීමට විදුහල්පතිවරුන් පියවර ගත යුතු බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
මෙම පියවර හරහා 2026 වසරේ ප්‍රාථමික අධ්‍යාපන කටයුතු වඩාත් විධිමත්ව පවත්වාගෙන යාමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි.














