කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ උද්ගතව ඇති උග්‍ර ජල හිඟය හමුවේ ජාතික ජල සම්පාදන මණ්ඩලය ජල බවුසරයක් රුපියල් 14,000ක අධික මිලකට අලෙවි කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරති.
පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ ජලය ලබාදෙන ලෙස බලධාරීන්ට කොතෙක් දැනුම් දුන්නද මෙතෙක් ස්ථිර විසඳුමක් ලැබී නොමැති බව ජනතාව පවසති. මෙම ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා ද දැනුවත් කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.
ජාතික ජල සම්පාදන මණ්ඩලය ධනවත් පුද්ගලයන්ගේ නිවාසවලට පමණක් මුදලට ජල බවුසර් ලබාදෙන බවත්, සාමාන්‍ය ජනතාවට එම මුදල දරාගත නොහැකි බවත් ප්‍රදේශවාසීන් පෙන්වා දෙති. මසකට රුපියල් 5,000කට වඩා වැඩි ජල බිල්පත් ගෙවන තමන්ට මෙවැනි අවස්ථාවක බවුසර් මඟින් නොමිලේ ජලය ලබාදීම බලධාරීන්ගේ වගකීමක් බව ඔවුහු අවධාරණය කරති.
මෙම අසාධාරණ මිල ගණන් සහ ජල සැපයුමේ පවතින ගැටලු පිළිබඳව වහාම සොයා බලා පියවර ගන්නා ලෙස කුණ්ඩසාලේ ජනතාව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතාගෙන් ඉල්ලා සිටිති.
වගකිවයුතු නිලධාරීන් ජනතාවගේ මෙම අත්‍යවශ්‍ය අවශ්‍යතාවය කෙරෙහි සංවේදී නොවීම පිළිබඳව ප්‍රදේශය පුරා දැඩි විරෝධයක් මතු වෙමින් පවතී.














