බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද (17) සිය ධුරයෙන් ඉල්ලා අස්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
ගල් අඟුරු සැපයුම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කිරීම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම හරහා රජය පෙන්නුම් කරන දූෂණ විරෝධී අධිෂ්ඨානය තමා අගය කරන බව අමාත්‍යවරයා පවසයි.
පසුගියදා පාර්ලිමේන්තුවේදී තමාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී රජය තමා කෙරෙහි තැබූ විශ්වාසය අගය කරන බවත්, එම විශ්වාසය පලුදු වන කිසිදු ක්‍රියාවකට තමා සම්බන්ධ වී නොමැති බවත් ඔහු අවධාරණය කරයි.
විමර්ශන කටයුතු කිසිදු පක්ෂපාතීත්වයකින් තොරව සහ ස්වාධීනව සිදු විය යුතු බවත්, තමා අමාත්‍ය ධුරයේ රැඳී සිටීම එම විමර්ශනවලට බාධාවක් විය හැකි බවත් පවසමින් ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.විමර්ශන අවසන් වී සත්‍යය ජනතාව හමුවේ තහවුරු වන තෙක් මෙම තීරණයේ ස්ථාවරව සිටින බවත්, පිරිසිදු දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ඕනෑම තීන්දුවක් භාරගන්නා බවත් අමාත්‍යවරයා සිය ලිපිය මඟින් වැඩිදුරටත් දන්වා තිබේ.












