ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය විසින් මෙරට පාර්ලිමේන්තුව තුළ උද්ගතව ඇති ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ප්‍රධාන ජාත්‍යන්තර ආයතන කිහිපයකට ලිඛිතව දැනුම් දී තිබේ. පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA), එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සහ අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) වෙත මෙම ලිපි යොමු කර ඇත.පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාගේ සේවය තහනම් කිරීම නීතිවිරෝධී, ද්වේශ සහගත සහ ස්වාභාවික යුක්ති ධර්මය උල්ලංඝනය කරන්නක් බව සංගමය පවසයි.මෙම සේවය තහනම් කිරීම නීතිමය බලයක් නොමැති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කමිටුව (SAC) මඟින් සිදු කර ඇති අතර, එය බලය අවභාවිත කිරීමක් බවට ඔවුන් චෝදනා කරති. අදාළ මූලික පරීක්ෂණය ද දෝෂ සහිත බවත්, ඒ පිළිබඳව දැනටමත් අභියාචනාධිකරණය හමුවේ නඩුවක් පවතින බවත් එහි සඳහන් වේ.
මෙම තීරණය ස්වාධීන පරිපාලන පියවරක් නොව, වත්මන් කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ සෘජු පෞද්ගලික මැදිහත් වීම මත සිදුවූවක් බවට හිටපු මන්ත්‍රීවරුන්ගේ සංගමය චෝදනා කරයි.
මෙමඟින් පාර්ලිමේන්තු ආයතනික ස්වාධීනතාවයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව පෙන්වා දෙන සංගමය, මේ පිළිබඳව ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියි.












