තඹුත්තේගම, නල්ලච්චිය වැවේ වාරි ඇළක දිය නෑමට ගිය 29 හැවිරිදි පාසල් ගුරුවරයෙකු සහ උසස් පෙළ හදාරන පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වීමේ ශෝකජනක පුවතක් ඊයේ (අප්‍රේල් 18) පස්වරුවේ වාර්තා විය. මියගොස් ඇත්තේ තඹුත්තේගම ඉකිරිවැව ප්‍රදේශයේ පදිංචිව සිටි ධනුෂ්ක උදයංග නමැති ගුරුවරයා සහ අනුරාධපුර ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබූ හේෂාන් දසුන් නැමැති සිසුවාය.
පොලිසිය පවසන පරිදි, මෙම දෙදෙනා ඊයේ පස්වරුවේ උපකාරක පන්ති අවසන් වී නල්ලච්චිය වැවෙන් ජලය සපයන ඇළ මාර්ගයක දිය නෑමට ගොස් තිබේ. එහිදී ඔවුන් දෙදෙනාම හදිසියේ දියේ ගිලී ජල පහරට ගසාගෙන ගොස් ඇති අතර, මීටර් 300ක් පමණ පහළින් දිය නාමින් සිටි පිරිසක් විසින් ඔවුන්ව දැක ගොඩට ගෙන ඇත. වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් පෞද්ගලික ලොරි රථයකින් ඔවුන් තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තද, රෝහලට රැගෙන එන විටත් ඔවුන් දෙදෙනාම මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
දැනට ගුරුවරයාගේ දේහය තඹුත්තේගම මූලික රෝහලේද, සිසුවාගේ දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේද තැන්පත් කර ඇත. සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩු සමයේ සිදුවූ මෙම අකල් මරණ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි කම්පනයට පත්ව සිටිති. තඹුත්තේගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන අතර, දිය නෑමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














