පවුල් කිහිපයක් එක්ව පිළියන්දල දම්පේ ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ අවුරුදු උත්සවයක් අතරතුර, 6 හැවිරිදි කුඩා දැරියක් හෝටලයේ පිහිනුම් තටාකයට වැටී මියයාමේ සංවේදී පුවතක් ඊයේ (අප්‍රේල් 18) සවස වාර්තා විය. මියගොස් ඇත්තේ පැලැන්වත්ත, මිහිඳුපුර පදිංචිව සිටි, ඇරැව්වල ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබමින් සිටි මාවතගේ ඉහන්සා නමෝදී පෙරේරා නැමැති දැරියයි.
පොලිස් විමර්ශනවලට අනුව, දැරියගේ මව විදේශගතව සිටින අතර ඇය පියාගේ සහෝදරිය භාරයේ හැදී වැඩෙමින් සිට ඇත. ඥාතීන් 40ක පමණ පිරිසක් සමඟ පෙරවරුවේ සිට උත්සවයේ විනෝද වූ දැරිය ඇතුළු පිරිස සවස 4.15 ට පමණ දියකීඩාව සඳහා ජල තටාකය අසලට රැස්ව තිබේ. එම අවස්ථාවේදී වැඩිහිටියන් සඳහා වෙන්වූ ගැඹුරු ප්‍රදේශයේ ගිලී සිටි දැරියව ඇගේ මාමා කෙනෙකු විසින් දැක වහා ගොඩට ගෙන ප්‍රථමධාර ලබාදී පිළියන්දල රෝහලට ඇතුළත් කර ඇතත්, ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරු තහවුරු කළහ.
කැස්බෑව හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කළ අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලෙස පොලිසියට නියෝග කළේය. අවුරුදු නිවාඩු සමයේ දරුවන් සමඟ ජල තටාක හෝ ජලාශ අසල ගැවසීමේදී වැඩිහිටියන් වඩාත් අවධානයෙන් පසුවිය යුතු බව පිළියන්දල පොලිසිය මේ සමඟ අවධාරණය කරයි.














