සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය තුළ මගීන්ගෙන් නියමිත ගාස්තුවට වඩා අධික ලෙස මුදල් අය කළ පෞද්ගලික බස් රථ 80කට දඩ නියම කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාව සූරාකෑම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කළ විශේෂ පරීක්ෂණ මෙහෙයුමකදී මෙම බස් රථ හඳුනාගෙන ඇත.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ජංගම බස් රථ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානී රෝහණ වත්තගේ මහතා සඳහන් කළේ, පසුගිය අප්‍රේල් 08 වැනිදා සිට 18 වැනිදා දක්වා කාලය තුළ දිවයින පුරා බස් රථ 680ක් පරීක්ෂාවට ලක් කළ බවයි. එහිදී මගීන්ගෙන් අයුතු ලෙස වැඩිපුර මුදල් අය කර තිබූ බස් රථ 80ක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගත් බවත්, එම බස් රථ විසින් මගීන්ගෙන් ලබාගෙන තිබූ අතිරික්ත මුදල් වහාම එම අවස්ථාවේදීම මගීන් වෙත යළි ලබාදීමට කටයුතු කළ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
උත්සව සමය අවසන් වී ජනතාව යළි සේවා ස්ථාන කරා පැමිණෙන මෙම දිනවලදී ද මෙවැනි වැටලීම් දිගටම ක්‍රියාත්මක කරන බව බලධාරීන් අවධාරණය කරයි. යම් හෙයකින් බස් රථයක් නියමිත ගාස්තුවට වඩා වැඩි මුදලක් අය කරන්නේ නම්, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික ඇමතුම් අංකයට ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙස මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි.
















