අනුරාධපුර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට මත්ද්‍රව්‍ය මිශ්‍ර කළ ආහාර සහ පාන වර්ග ලබා දී, ඔවුන් සතු රුපියල් දහහත් ලක්ෂයකට අධික මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයෙකු අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අප්‍රේල් මස 02 වැනිදා රාත්‍රියේ සිදුවූ මෙම මහා පරිමාණ කොල්ලය සම්බන්ධයෙන් සති දෙකකට අධික කාලයක් සිදු කළ සූක්ෂ්ම විමර්ශනයකින් පසු සැකකරු පෙරේදා (අප්‍රේල් 17) පණ්ඩුලගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු සාලියවැව ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු බස් රථය තුළදී මෙම කාන්තාවන් සමඟ ඉතා සුහදශීලීව කතාබහ කර මිතුරු වී ඇති බවයි. පසුව ඔහු විසින් ලබා දුන් කෙටි ආහාර සහ බීම වර්ගයක් අනුභව කිරීමෙන් පසු කාන්තාවන් තිදෙනා බස් රථය තුළදීම සිහිසුන් වී ඇති අතර, එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සැකකරු ඔවුන් සතු රුපියල් 1,706,400ක් වටිනා මුදල් සහ රන් ආභරණ කොල්ලකා පලා ගොස් තිබේ.
අලුත් අවුරුදු නිවාඩු සමය නිමවී ජනතාව විශාල වශයෙන් පොදු ප්‍රවාහන සේවාවලින් ගමන් ගන්නා මෙම වකවානුවේදී, මෙවැනි සංවිධානාත්මක කොල්ලකරුවන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස පොලිසිය අවධාරණය කරයි. විශේෂයෙන්ම බස් රථ සහ දුම්රිය තුළදී හමුවන නාඳුනන පුද්ගලයන් පිරිනමන කිසිදු ආහාරයක් හෝ පානයක් ලබා නොගන්නා ලෙසත්, එවැනි පුද්ගලයන් පිළිබඳව සැකයක් මතු වුවහොත් වහාම ප්‍රවාහන සේවා නිලධාරීන් හෝ පොලිසිය දැනුවත් කරන ලෙසත් පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.














