දිවයිනට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධාක්‍රිෂ්ණන් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර නිල හමුවක් අද (අප්‍රේල් 19) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී නායකයින් දෙපළ අතර සුහදශීලී හා ඵලදායී සාකච්ඡා රැසක් සිදු විය.
මෙම හමුවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ පොදු ඉතිහාසය, ශක්තිමත් ශිෂ්ටාචාරමය සබඳතා සහ දෙරටේ ජනතාව අතර පවතින සමීප සම්බන්ධතාවන් මත පදනම් වූ ඉන්දු – ශ්‍රී ලංකා බහුවිධ සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම පිළිබඳවයි. කලාපීය ආරක්ෂාව සහ ආර්ථික හවුල්කාරිත්වය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කරගෙන තිබේ.
මෑතකදී බලපෑ “දිට්වා” (Ditwah) සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ප්‍රදේශ ප්‍රතිසංස්කරණය සඳහා ඉන්දියාව ලබා දුන් අමෙරිකානු ඩොලර් මිලියන 450 ක දැවැන්ත සහන පැකේජය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම මෙම සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ප්‍රජාව වෙසෙන ප්‍රදේශවල පුනරුත්ථාපන කටයුතු සහ දැනට ක්‍රියාත්මක වන “ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ” ප්‍රගතිය පිළිබඳව ද නායකයන්ගේ විශේෂ අවධානය යොමු විය.
ඉන්දීය උප ජනාධිපතිවරයාගේ මෙම සංචාරය හරහා දෙරට අතර පවතින සංවර්ධන හවුල්කාරිත්වය සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඉදිරියේදී තවදුරටත් පුළුල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. හමුවෙන් අනතුරුව උප ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.














