බේරුවල ධීවර වරායේ බෝට්ටු අතර සැඟවී සිට ධීවරයන්ට මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු, පොලිස් වැටලීමක් දැක මුහුදට පැන පළායාමට උත්සාහ කිරීමේදී දියේ ගිලී මියගොස් තිබේ.
වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු, ඉකුත් 17 වැනිදා සවස පොලිස් නිලධාරීන් දැක ධීවර යාත්‍රා ඔස්සේ දිව ගොස් මුහුදට පැන ඇත. පසුව සිදු කළ සෝදිසි කිරීම්වලදී ඔහු සොයා ගැනීමට නොහැකි වූ අතර, සැකකරු මුහුදට විසි කළ බෑගයක තිබී හෙරොයින් පැකට් 10ක් සහ අයිස් මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන තිබේ.
පසුදින (18) උදෑසන මුහුදේ පාවෙමින් තිබියදී සොයාගත් මොහුගේ මළ සිරුර පරීක්ෂා කිරීමේදී, ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 50,800ක මුදලක් සහ වෙනත් පුද්ගලයෙකුට අයත් ජාතික හැඳුනුම්පතක් හමු වී ඇත. බේරුවල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.














