නුවරඑළිය ග්‍රෙගරි වැවේ සංචාරක බෝට්ටු දෙකක් එකිනෙක ගැටී පෙරළීමෙන් ඊයේ (19) සිදු වූ අනතුරින් පසු එම බෝට්ටු සේවාව සඳහා නව නියාමනයන් හඳුන්වා දීමට පියවර ගන්නා බව නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකර මහතා පවසයි.
වැව ආශ්‍රිතව පවතින බෝට්ටු 120ක පමණ අයිතිකරුවන් සහ පැදිකරුවන් කැඳවා සංචාරකයන්ට ආරක්ෂිත කබා (Life jackets) අනිවාර්ය කිරීම, වේග සීමා පැනවීම සහ විනයගරුකව සේවාව පවත්වාගෙන යාමට උපදෙස් ලබා දී තිබේ. ඊයේ පස්වරුවේ අධික වේගයෙන් පැමිණි බෝට්ටුවක් තවත් බෝට්ටුවක ගැටීමෙන් සංචාරකයන් දෙදෙනෙකු සිටි බෝට්ටුව පෙරළී ගොස් ඇති අතර එහි සිටි පිරිස නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බෝට්ටු පදවන්නන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති අතර ඔවුන්ට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතය. අනතුරෙන් සංචාරකයන්ගේ ජංගම දුරකථන වැවට වැටී අහිමි වී ඇති අතර එම අලාභය ගෙවීමට බෝට්ටු හිමිකරුවන් එකඟ වී තිබේ. මෙවර වසන්ත උදානය වෙනුවෙන් නුවරඑළියට ලක්ෂ 15ක පමණ සංචාරක පිරිසක් පැමිණි බව ද නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















