2016 වර්ෂයේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරට අදාළ නඩුවේ සාක්ෂිකරුවකුට තර්ජනය කර බලපෑම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමට විමර්ශකයන් ගත් උත්සාහය ඔහු ප්‍රතික්ෂේප කර තිබේ. වින්දිතයන් හා සාක්ෂිකරුවන් සම්බන්ධ ආරක්ෂක කොට්ඨාසය විසින් මේ වන විට මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව මත පසුගිය පෙබරවාරි මාසයේදී රණවක මහතාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී මකා දමන ලද වැදගත් වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ කිහිපයක් පිළිබඳව සැක මතු වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය මාර්තු 16 වැනිදා රණවක මහතාගෙන් පැය පහකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට ද කොළඹ අපරාධ කොට්ඨාසය පියවර ගෙන තිබිණි.
වැඩිදුර විමර්ශන සඳහා සිය ජංගම දුරකථනය පොලිස් කොට්ඨාසය වෙත භාර දෙන ලෙස දැනුම් දුන්නද රණවක මහතා එය ප්‍රතික්ෂේප කර ඇති අතර, ඒ වෙනුවට එය අධිකරණයට භාර දීමට ඔහු එකඟතාවය පළ කර තිබේ. ඒ අනුව අධිකරණ නියෝගයක් මත එළඹෙන 29 වැනිදා ඔහු සිය දුරකථනය අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි විමර්ශකයන් විශ්වාසය පළ කරයි.
අධිකරණයට ඉදිරිපත් කෙරෙන දුරකථනය වෝහාරික පරීක්ෂණයක් සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය. එහිදී සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු සමඟ කිසියම් පණිවුඩ හුවමාරුවක් සිදු වී තිබේද යන්න පිළිබඳව පුළුල් විද්‍යාත්මක විශ්ලේෂණයක් සිදු කිරීමට නියමිත බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේ මහතා සඳහන් කළේය.














