කුලියාපිටිය විජය උදා ගම්පොළ ක්‍රීඩාපිටියේ පැවති අවුරුදු සංගීත ප්‍රසංගයක් අතරතුර ජාතික ජන බලවේගයේ පඬුවස්නුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් නව දෙනෙකු කුලියාපිටිය මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අප්‍රේල් 17 වැනි දින රාත්‍රියේ පැවති මෙම සංදර්ශනය අතරතුර අදාළ ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇත.
ප්‍රහාරයට මුහුණ දී ඇත්තේ අනුක්කනය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ආර්.එම්.යූ. නිශාන්ත රත්නායක නැමැති මන්ත්‍රීවරයාය. තුවාල ලබා ඇති ඔහු මේ වන විට කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි. අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 26ත් 59ත් අතර පසුවන කුලී රැකියාවල නිරත වන්නන් බව හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට පත් පිරිස කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, කුලියාපිටිය මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














