පසුගිය වසරේ අලුත් අවුරුදු සමයට සාපේක්ෂව මෙම වසරේ (2026) එම කාලසීමාව තුළ සිදුවූ මාරක රිය අනතුරුවල කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කරන බව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා අද (20) පෙරවරුවේ ප්‍රකාශ කළේය. පොලිස් වාර්තාවලට අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙවර මාරක රිය අනතුරු 18ක වැඩිවීමක් දක්නට ලැබේ.
මෙම වසරේ අප්‍රේල් 10 වනදා සිට 19 වනදා දක්වා වූ කාලය තුළ මාරක රිය අනතුරු 88ක් වාර්තා වී ඇති අතර ඉන් පුද්ගලයින් 92 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. 2025 වසරේ එම කාලසීමාව තුළ වාර්තා වී තිබුණේ මාරක රිය අනතුරු 70ක් සහ මරණ 72ක් පමණි. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙවර මියගිය සංඛ්‍යාව ද 20කින් ඉහළ ගොස් ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය.
රිය අනතුරු මෙන්ම බීමත්ව රිය පැදවීමේ සිදුවීම් ද මෙම කාලය තුළ බහුලව වාර්තා වී ඇත. පොලිස් දත්තවලට අනුව අප්‍රේල් 12 වනදා සිට 18 වනදා දක්වා කාලය තුළ බීමතින් රිය පැදවූ පුද්ගලයින් 4,225 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ. රියදුරන්ගේ නොසැලකිලිමත්භාවය සහ විනය විරෝධී ධාවනය මෙම අනතුරු ඉහළ යාමට ප්‍රධාන හේතු වී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.














