ශ්‍රී ලංකාව කම්පා කළ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 7ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් වින්දිතයන් සැමරීමේ සහ යුක්තිය ඉල්ලීමේ විශේෂ වැඩසටහන් මාලාවක් හෙට (අප්‍රේල් 21) දිවයින පුරා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. “සමිදාණෙනි යුක්තිය හා සත්‍ය වෙත අප ගෙනගිය මැනව” යන තේමාව යටතේ මෙම සැමරුම් සංවිධානය කර ඇති බව ජාතික කතෝලික ජනසන්නිවේදන මධ්‍යස්ථානය පවසයි.
හෙට පෙරවරු 8:45ට දිවයිනේ සියලු දේවස්ථානවල මළවුන්ගේ සීනුව නාද කෙරෙන අතර, පෙරවරු 8:47ට ඉටිපන්දම් හෝ පහන් දල්වා වින්දිතයන් සිහිපත් කිරීමට නියමිතය. අනතුරුව පෙරවරු 8:50 සිට විශේෂ යාච්ඤා මෙහෙයන් ආරම්භ වේ. ප්‍රධාන සැමරුම් උත්සවය කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වේ. මෙම අවස්ථාවට සෙසු ආගමික නායකයන්, විදෙස් තානාපතිවරුන් සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සහභාගී වීමට නියමිත අතර විශාරද නන්දා මාලිනිය විසින් විශේෂ ගීතයක් ද ගායනා කරනු ලබයි.
මීට අමතරව, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී පෙරවරු 7:30ට දිව්‍ය පූජාව පැවැත්වෙන අතර, පස්වරු 4:00ට මීගමුව මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන විශේෂ “යැදුම් පා ගමන” කටුවපිටිය දෙව්මැදුර දක්වා ගමන් කිරීමට නියමිතය. ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන්ට යුක්තිය ඉටු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටීම මෙම සැමරුම්වල ප්‍රධාන අරමුණක් වී තිබේ.












