දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් මහතා අද (අප්‍රේල් 20) නුවරඑළිය, රාගල ප්‍රදේශයේ සංචාරයක නිරත විය. ඉන්දීය රජයේ ආධාර යටතේ ඉදිකරන ලද නිවාස ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සහ එහි ප්‍රතිලාභීන් සමඟ සුහදව අදහස් හුවමාරු කර ගැනීම මෙහි ප්‍රධාන අරමුණ විය.
ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර යටතේ රාගල, ලිඩ්ල්ස්ඩේල් වතුයායේ ඉදිකළ නිවාස නිරීක්ෂණය කළ උප ජනාධිපතිවරයා එහි පදිංචි පවුල් සමඟ සුහද සාකච්ඡාවක නිරත විය. ශ්‍රී ලංකාවේ වෙසෙන දමිළ ජනතාවගේ, විශේෂයෙන්ම වතුකරයේ වෙසෙන ඉන්දීය සම්භවයක් සහිත ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් ඉන්දීය රජයේ සහ ජනතාවගේ නොමඳ සහයෝගය නිරන්තරයෙන් හිමිවන බව ඔහු මෙහිදී අවධාරණය කළේය. මේ වන විට උතුරු, නැගෙනහිර සහ වතුකරයේ දමිළ ජනතාව වෙනුවෙන් ඉන්දීය රජය නිවාස 50,000ක් ලබා දී ඇති අතර සිව්වන අදියර යටතේ තවත් නිවාස 10,000ක් ඉදිකිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. නුවරඑළිය සංචාරය අතරතුර උප ජනාධිපතිවරයා සීතා අම්මාන් කෝවිල වැඳපුදා ගැනීමට ද කටයුතු කළේය.














