ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීමේදී ලෝක වෙළෙඳපොළේ පවතින මිලට වඩා ඉතා ඉහළ මිලක් (Premium) ගෙවමින් සිදුකරන බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (අප්‍රේල් 20) ප්‍රකාශ කළේය.
ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාමට මුවාවී මෙරට තුළ සංවිධානාත්මක තෙල් ජාවාරමක් සිදුවන බවට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව තෙල් බැරලයක් ඩොලර් 286ක් වැනි අති විශාල මුදලකට මිලදී ගෙන ඇති බවට HSBC බැංකුවේ විධායක නිලධාරියකු කළ ප්‍රකාශයත් සමඟ මේ පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වී ඇති බව ද ඔහු සඳහන් කළේය.
ට්‍රෆිගියුරා (Trafigura) නමැති සමාගම මුලින් ඩොලර් 3.8ක ප්‍රිමියම් අගයකට ඉන්ධන ලබා දීමට ටෙන්ඩරය ලබා ගත්තද, පසුව යුද තත්ත්වය පෙන්වා දෙමින් ඉන්ධන ලබා දිය නොහැකි බව පවසා ඇති බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය. පසුව එම සමාගමම තරගකාරී නොවන ටෙන්ඩරයක් හරහා ඩොලර් 48ක අධික ප්‍රිමියම් අගයකට ඉන්ධන ලබා දීමට කටයුතු කර ඇති බවත්, මීට පෙර ආදිත්‍ය බිර්ලා සමාගම සමඟ ද ඩොලර් 57ක ප්‍රිමියම් අගයකට මෙවැනිම ගිවිසුම් ඇති කරගෙන තිබූ බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. මෙම ක්‍රියාවලිය හරහා රටේ මහජන මුදල් විශාල වශයෙන් අවභාවිත වන බැවින් මේ පිළිබඳව වහාම විමර්ශනයක් කළ යුතු බව මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටී.














