පවතින දේශගුණික විපර්යාස සහ එල්-නිනෝ (El-Nino) සංසිද්ධිය හමුවේ ඉදිරි කාලය තුළ දිවයිනට එල්ල විය හැකි දැඩි වියළි කාලගුණික බලපෑම් අවම කර ගැනීම සඳහා කෘත්‍රිම වැසි ජනනය කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
ජාත්‍යන්තර විද්‍යාඥයින්ගේ පුරෝකථනයන්ට අනුව එල්-නිනෝ තත්ත්වය 50% – 55% ක සම්භාවිතාවයකින් ලෝකයට බලපානු ඇති අතර, එය 2027 මාර්තු හෝ අප්‍රියෙල් දක්වා දීර්ඝ වීමේ අවදානමක් පවතී. විශේෂයෙන්ම 2026 වසරේ මෙම අප්‍රියෙල් සහ මැයි මාසවලදී වායුගෝලීය උෂ්ණත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට පුරෝකථනය කර ඇත.
නිරිතදිග මෝසම මැයි 20 වනදා පමණ ආරම්භ වීමට නියමිත වුවද, ජුනි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ලැබෙන වර්ෂාපතනය සාමාන්‍ය මට්ටමට වඩා බෙහෙවින් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම තත්ත්වය හමුවේ ජල විදුලි උත්පාදනයට සහ කෘෂිකර්මාන්තයට සිදුවන බලපෑම අවම කර ගැනීම සඳහා විදේශීය තාක්ෂණික සහාය ඇතිව කෘත්‍රිම වැසි ඇති කිරීමට සැලසුම් කර තිබේ.
ලංකාව දූපතක් බැවින් මෙම ක්‍රියාවලිය ඉතා නිරවද්‍ය විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ සිදු කළ යුතු බව විද්වතුන් පෙන්වා දෙයි. මීට පෙර 1980 දශකයේදී ද මෙරට තුළ මෙවැනි අත්හදා බැලීම් සිදු කර ඇති අතර, මෙවර නවීන තාක්ෂණය යොදාගනිමින් මෙම අභියෝගයට මුහුණ දීමට බලධාරීන් සූදානම් වේ.













