ඇඹිලිපිටිය, කණමැදිරිආර ප්‍රදේශයේ පොල් වගා ඉඩමක් තුළ රහසිගත ලෙස පවත්වාගෙන ගිය අක්කර දෙකක විශාලත්වයෙන් යුත් ගංජා හේනක් වැටලීමට කුට්ටිගල පොලිසිය සමත් වී තිබේ. කුට්ටිගල පොලිස් ස්ථානාධිපතිවරයාට ලද පෞද්ගලික තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
පොලිසිය එම ස්ථානයට ළඟා වන විට එහි වැඩ කරමින් සිටි සැකකරු පළාගොස් ඇති අතර, ඔහු කවුරුන්ද යන්න මේ වන විට හඳුනාගෙන තිබේ. අත්අඩංගුවට ගත් ගංජා අතුරින් අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය සාම්පල ලබා ගැනීමෙන් අනතුරුව, ඉතිරි සියලුම ගංජා පැළ ගලවා එම ස්ථානයේදීම ගිනි තබා විනාශ කිරීමට පොලිසිය පියවර ගත්තේය.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පොල් ඉඩම මිද්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් එකක් බවයි. ඔහු දිවයිනේ ප්‍රසිද්ධ ගංජා ජාවාරම්කරුවෙකුගේ සහෝදරයෙකු බවට ද තොරතුරු හෙළි වී තිබේ. සැකකරු කලක් තිස්සේ වෙනත් වගාවන් කරන මුවාවෙන් මෙලෙස ගංජා වගා කර ඇති අතර, එම අස්වැන්න කොළඹ ප්‍රදේශයට තොග වශයෙන් බෙදාහැරීමේ ජාලයක් පවත්වාගෙන ගොස් ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෙට (අප්‍රේල් 21) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත අතර, පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කුට්ටිගල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














