විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ බහුතර බලයෙන් ජයග්‍රහණය කළද, දූෂිත ගල්අඟුරු ගනුදෙනුවට එරෙහිව නැගුණු ප්‍රබල මහජන විරෝධය හමුවේ ආණ්ඩුව සදාචාරාත්මකව පරාජයට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. එම මහජන පීඩනය හේතුවෙන් අවසානයේ අදාළ අමාත්‍යවරයාට සහ ලේකම්වරයාට සිය ධුරවලින් ඉල්ලා අස්වීමට සිදු වූ බව ද ඔහු පෙන්වා දුන්නේය.
තිස්සමහාරාම සුදුවැලි පැලැස්ස ප්‍රදේශයේ පැවැති බක්මහ උළෙලකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.
ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් මේ වන විට රටේ බලශක්ති ක්ෂේත්‍රය තුළ බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, පාර්ලිමේන්තුව තුළ සංඛ්‍යාත්මකව ජයග්‍රහණය කළ ද ජනමතය හමුවේ ආණ්ඩුව පරාජය වී ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














