මෙම සාකච්ඡාවේ ප්‍රධානතම මාතෘකාව වූයේ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” 1000ක් පිහිටුවීමේ වැඩපිළිවෙළයි. බෝ නොවන රෝග පාලනය, රෝග කල්තියා හඳුනාගැනීම සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණු බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම පිළිකා කල්තියා හඳුනාගැනීම, වැඩිහිටි සහන සත්කාර සහ පෝෂණ උපදේශන සේවා මෙම මධ්‍යස්ථාන හරහා ජනතාවට සමීප කිරීමට රජය අපේක්ෂා කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම අප්‍රේල් 20 සිට 24 දක්වා දිවයිනේ රැඳී සිටිමින් ක්ෂේත්‍ර චාරිකා සහ සවිස්තරාත්මක අධ්‍යයනයන්හි නිරත වීමට නියමිතය. මෙම සමාලෝචන ක්‍රියාවලියේ පළමු අදියර 2025 නොවැම්බර් මාසයේදී මහාචාර්ය ටී. සුන්දරරාමන් මහතාගේ සහභාගිත්වයෙන් සාර්ථකව නිම කළ අතර, දැනට ක්‍රියාත්මක වන්නේ එහි දෙවැනි අදියරයි. මෙම අධ්‍යයනයෙන් ලැබෙන නිර්දේශ මත පදනම්ව මෙරට සෞඛ්‍ය පද්ධතිය වඩාත් කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධතියක් බවට පත් කිරීම රජයේ අරමුණයි.
ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම මගින් ප්‍රධාන රෝහල්වල පවතින තදබදය අවම කර ගැනීමටත්, ජනතාවට පිරිවැය අවම ගුණාත්මක සේවාවක් ලබා දීමටත් හැකි වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී විශ්වාසය පළ කළේය.














