2018 වසරේ සිදුවූ මෙම අනතුරින් 2014 වසරේ නිෂ්පාදිත ටෙස්ලා මොඩල් S රථයේ ගමන් කළ 18 හැවිරිදි රියදුරා සහ එහි සිටි මගියෙකු මිය ගියහ. පැයට සැතපුම් 25ක වේග සීමාවක් සහිත වංගුවකදී රථය පැයට සැතපුම් 116ක අධික වේගයකින් ධාවනය කිරීම නිසා පාලනයෙන් මිදී කොන්ක්‍රීට් තාප්ප දෙකක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
මියගිය රියදුරාගේ දෙමාපියන් චෝදනා කළේ, තම රථයේ පැයට සැතපුම් 85ක වේග සීමාවක් පැනවීමට සකස් කර තිබූ මෘදුකාංගය තම දැනුවත් කිරීමකින් තොරව ටෙස්ලා තාක්ෂණික ශිල්පියෙකු විසින් ඉවත් කර ඇති බවයි. කෙසේ වෙතත්, ටෙස්ලා සමාගම එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඔවුන් අවධාරණය කළේ වේග සීමා මෘදුකාංගය තිබුණ ද නැතත් රියදුරාගේ “නොසැලකිලිමත්” ධාවනය අනතුරට හේතු වූ බවයි.
මෙම නඩුව සම්බන්ධයෙන් වූ විභාගය අද දින ෆ්ලොරිඩා අධිකරණයක ආරම්භ වීමට නියමිතව තිබුණද, ඉකුත් ඉරිදා ටෙස්ලා සමාගම විත්ති පාර්ශවයෙන් ඉවත් කිරීමට අධිකරණය කටයුතු කළේ දෙපාර්ශවය අතර ඇති වූ රහස්‍ය සමථයක් හේතුවෙනි. මෙලෙස ගෙවන ලද වන්දි මුදල හෝ සමථයේ කොන්දේසි මෙතෙක් අනාවරණය කර නොමැත. මීට පෙරද ටෙස්ලා සමාගම සිය මෝටර් රථ සම්බන්ධයෙන් වූ අනතුරු කිහිපයකට අදාළ නඩු මෙලෙසම සමථයකට පත් කර ඇති අතර, තවත් නඩු කිහිපයක් සඳහා ඉහළ අධිකරණවල අභියාචනා ඉදිරිපත් කර තිබේ.














