මෙම වැඩසටහන යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07ක ප්‍රතිලාභීන් 228 දෙනෙකු වෙත රුපියල් මිලියන 318කට අධික වන්දි මුදල් බෙදා දීම සිදු කෙරුණු අතර අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම වන්දි මුදල් මහජන බදු මුදල් බැවින් ඒවා ඉතාම ඵලදායී ලෙස භාවිත කිරීම ප්‍රතිලාභීන්ගේ වගකීමක් බවයි. වන්දි ප්‍රදානය කිරීමේ තොරතුරු සලකා බැලීමේදී සම්පූර්ණ හානි වූ නිවාස 150ක් සඳහා රුපියල් මිලියන 5ක මුළු වන්දි මුදලේ පළමු අදියර ලෙස රුපියල් 2,000,000 බැගින් පිරිනමන ලදි. අර්ධ හානි වූ නිවාස 29ක් සඳහා පළමු අදියරේ වන්දි ලෙස රුපියල් 300,000 බැගින් ලබා දී ඇති අතර හානියට පත් කර්මාන්ත 49ක් වෙනුවෙන් රුපියල් 200,000 බැගින් මූල්‍ය ආධාර පිරිනැමීමට කටයුතු කර තිබේ. දිස්ත්‍රික්කය තුළ ප්‍රතිලාභීන් වැඩිම පිරිසක් වාර්තා වූයේ කරුවලගස්වැව (58) සහ පුත්තලම (47) යන ප්‍රදේශවලිනි.
ආර්ථික කළමනාකරණය සහ සහන පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා රජය පසුගිය වසර තුළ බදු මුදල් නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් මහා භාණ්ඩාගාරයේ රුපියල් කෝටි ලක්ෂයක් ඉතිරි කර ගැනීමට සමත් වූ බවත් ඉන් රුපියල් කෝටි 50,000ක් ආපදා සහන වෙනුවෙන් වෙන් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර ඇති බවත් මෙහිදී අනාවරණය කළේය. ලබා දෙන රුපියල් ලක්ෂ 50ක වන්දි මුදල ණයක් නොව සහනයක් බවත් කටුමැටි හෝ තකරන් ගැසූ පැරණි නිවාස වෙනුවට ස්ථිර සහ වටිනා නිවසක් ගොඩනඟා ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. මීට අමතරව ව්‍යාපාරිකයන් සඳහා අඩු පොලී ණය ක්‍රමයක් ද හඳුන්වා දීමට රජය සූදානමින් සිටී.














