මෙවර තරග වාරයේ හඳුන්වා දුන් විද්‍යුත් සහ දහන බලය 50-50 ලෙස බෙදී යන නව හයිබ්‍රිඩ් බල ඒකක ක්‍රමය හේතුවෙන් රියදුරන්ට අධික වේගයෙන් ගමන් කරන වංගුවලදී බැටරිය නැවත ආරෝපණය කිරීම සඳහා එන්ජිමේ වේගය සැලකිය යුතු ලෙස පාලනය කිරීමට සිදු විය. මෙහිදී ඇති වූ “Super-clipping” නම් තත්ත්වය, එනම් රියදුරා උපරිම වේගයෙන් යෑමට උත්සාහ කළද එන්ජිම ස්වයංක්‍රීයව බැටරිය ආරෝපණය සඳහා බලය හරවා යැවීම නිසා වේගය ක්ෂණිකව අඩු වීම, රියදුරන්ගේ දැඩි දෝෂාරෝපණයට ලක් විය.
මියාමි සිට ක්‍රියාත්මක වන ප්‍රධාන සංශෝධන යටතේ සුදුසුකම් ලැබීමේ වටවලදී වඩාත් ස්ථාවර වේගයක් පවත්වා ගැනීම සඳහා උපරිම නැවත ආරෝපණය කිරීමේ සීමාව මෙගාජූල් 08 සිට 07 දක්වා අඩු කර ඇත. එසේම හදිසියේ වේගය අඩු වීම නිසා පිටුපසින් එන රථ ගැටීමේ අවදානම අවම කිරීමට “Super-clip” බලය 250kW සිට 350kW දක්වා ඉහළ නංවා ඇති අතර, තරගය අතරතුර උපරිම අතිරේක බලය 150kW දක්වා සීමා කර තිබේ. මීට අමතරව තරගය ආරම්භයේදී වේගය අඩු රථ සමඟ පිටුපසින් එන වේගවත් රථ ගැටීම වැළැක්වීමේ නව ක්‍රමවේදයක් මියාමිහිදී අත්හදා බැලීමට ද නියමිතය.
මැක්ස් වර්ස්ටැපන් වැනි ප්‍රබල රියදුරන් පවා මෙම තාක්ෂණික දෝෂ හේතුවෙන් සිය අනාගතය පිළිබඳව සැක පහළ කර තිබූ පසුබිමක, මෙම සංශෝධන ක්‍රීඩාවේ උද්යෝගය සහ ආරක්ෂාව රැක ගැනීමට ගත් වැදගත් පියවරක් ලෙස විලියම්ස් කණ්ඩායමේ ප්‍රධානී ජේම්ස් වොවුල්ස් ඇතුළු පිරිස හඳුන්වා දී ඇත.
















