දිවයිනේ ජාතික මහාමාර්ග පද්ධතිය තිරසර ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග තුනක සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට රජය තීරණය කර තිබේ. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ‘මගනැගුම මහමැදුර’ පරිශ්‍රයේදී පැවැත්විණි. 2003 වසරේ සිට නිසි සංවර්ධනයකට ලක් නොවූ මෙම මාර්ග පද්ධතිය, වර්තමානයේ පවතින දැඩි වාහන තදබදයට සහ ගමනාගමන අවශ්‍යතාවන්ට සරිලන පරිදි නවීකරණය කිරීම මෙහි මූලික අරමුණයි.
මෙම ව්‍යාපෘතිය යටතේ වැලිගම – තෙලිජ්ජවිල මාර්ගය සහ මාතර කුමාරතුංග මාවත (පරණ ගාලු පාර) පුළුල් කර සංවර්ධනය කිරීමට නියමිතය. මීට අමතරව කඹුරුගමුව සිට නූපේ හන්දිය දක්වා වූ ප්‍රධාන මාර්ගය මංතීරු හතරක් දක්වා පුළුල් කර සංවර්ධනය කිරීමටද සැලසුම් කර ඇත. මෙම සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කරගැනීම 2026 වසර තුළ අවසන් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරන අතර, එම ඉඩම් සඳහා පවත්නා වෙළඳපොළ වටිනාකම අනුව විධිමත් වන්දි මුදල් ලබා දීමටද තීරණය කර තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘති, මාර්ග සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙනු ඇත. මෙම සාකච්ඡාව සඳහා විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.














