ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලයේ කම්කරු ලේකම්වරිය ලෙස කටයුතු කළ ලෝරි චාවේස්-ඩෙරීමර් (Lori Chavez-DeRemer) සිය ධුරයෙන් ඉවත් වී තිබේ. මාස දෙකකට අඩු කාලයක් තුළ ට්‍රම්ප් පරිපාලනයෙන් ඉවත් වූ තෙවන කැබිනට් සාමාජිකයා ඇයයි.
ඇයට එරෙහිව සිය තනතුරේ බලය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල වී තිබුණි. ඒ අතර තම යටත් නිලධාරියෙකු සමඟ අනියම් සබඳතාවක් පැවැත්වීම සහ රාජකාරී වේලාව තුළ මත්පැන් පානය කිරීම වැනි චෝදනා ප්‍රධාන වන බව ධවල මන්දිර ආරංචි මාර්ග පවසයි.
ඇයගේ ඉවත් වීමට පෙර, පසුගිය මාර්තු මාසයේදී ස්වදේශ ආරක්ෂක ලේකම් (Homeland Secretary) ක්‍රිස්ටි නොයෙම් සහ මේ මස මුලදී නීතිපති (Attorney General) පැම් බොන්ඩි යන අය ද ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති ට්‍රම්ප් පියවර ගෙන තිබුණි.
සිය ඉල්ලා අස්වීම පිළිබඳව සමාජ මාධ්‍ය සටහනක් තබමින් චාවේස්-ඩෙරීමර් සඳහන් කර ඇත්තේ, ව්‍යාපාරික ක්ෂේත්‍රය සහ කම්කරු ප්‍රජාව අතර පරතරය අවම කිරීමටත්, ඇමෙරිකානු සේවකයාට ප්‍රමුඛතාවය ලබා දීමටත් තමන් ලබාදුන් දායකත්වය පිළිබඳව ආඩම්බර වන බවයි.














