සමාජ මාධ්‍ය ගිණුමක් ආරම්භ කිරීමේදී බොහෝ දෙනා නොකියවා අනුමත කරන “Terms and Conditions” (නියමයන් සහ කොන්දේසි) ලේඛන මඟින් පරිශීලකයින්ට එම ආයතනවලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ඇති අයිතිය සීමා කරන බව නවතම විශ්ලේෂණයකින් අනාවරණය වී තිබේ. හාවර්ඩ් විශ්වවිද්‍යාලය (Harvard University) මඟින් සිදුකළ මෙම අධ්‍යයනයේ වැදගත් කරුණු මෙසේය:
බොහෝ සමාජ මාධ්‍ය ජාල තම කොන්දේසි ඇතුළත පරිශීලකයාට අධිකරණයට යාමට ඇති අයිතිය ඉවත් කරන හෝ සීමා කරන වගන්ති ඇතුළත් කර තිබේ. ඒ වෙනුවට ඔවුන් බලාපොරොත්තු වන්නේ ආයතනයට වාසිදායක වන බේරුම්කරණ ක්‍රියාවලීන් (Arbitration) හරහා ගැටලු විසඳා ගැනීමටයි. මෙම දීර්ඝ ලේඛන මඟින් පරිශීලකයාගේ පෞද්ගලික දත්ත රැස් කිරීමට සහ ඒවා භාවිතා කිරීමට සමාගම්වලට පුළුල් අවසරයක් ලබා ගන්නා බවත්, එම ලේඛන කියවා තේරුම් ගැනීමට අපහසු වන පරිදි සකස් කර ඇති බවත් මෙහිදී පෙන්වා දී ඇත.
හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ජොනතන් සිට්‍රේන් (Jonathan Zittrain) මහාචාර්යවරයා ප්‍රමුඛ කණ්ඩායම විසින් “Transparency Hub” නමින් නව මෙවලමක් හඳුන්වා දී ඇත. මෙහි ටික්ටොක් (TikTok) සහ ඉන්ස්ටග්‍රෑම් (Instagram) ඇතුළු ප්ලැට්ෆෝම් 300කට අධික සංඛ්‍යාවක ලේඛන 20,000කට වඩා ගබඩා කර ඇති අතර, එමඟින් ජනතාවට තම අයිතිවාසිකම් සහ දත්ත භාවිතය පිළිබඳව වඩාත් පහසුවෙන් තොරතුරු දැනගත හැකිය. පර්යේෂකයින් පෙන්වා දෙන්නේ මෙම නීතිමය ලේඛන දිනෙන් දින කියවීමට අපහසු සහ සංකීර්ණ වන අයුරින් වෙනස් වන බවයි.














