සමාජ මාධ්‍ය භාවිතයේදී දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව වයස් තහවුරු කිරීමේ ක්‍රමවේදයක් (Age-verification system) හඳුන්වා දීමට යුරෝපා කොමිසම පියවර ගෙන තිබේ. දරුවන් සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් කිරීමට යුරෝපා සාමාජික රටවල් නීති සම්පාදනය කරමින් සිටින අතර, යුරෝපා පාර්ලිමේන්තුව යෝජනා කරන්නේ මේ සඳහා වයස අවුරුදු 16ක දැඩි සීමාවක් පැනවිය යුතු බවයි.
යුරෝපා පුරවැසියන්ගෙන් 93%ක් දරුවන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව ද, 92%ක් සයිබර් හිරිහැර (Cyberbullying) පිළිබඳව ද දැඩි කනස්සල්ලෙන් පසුවන බව 2025 යුරෝබාරෝමීටර (Eurobarometer) දත්ත වාර්තා පෙන්වා දෙයි. යුරෝපා කොමිසමේ සභාපතිනී උර්සුලා ෆොන් ඩර් ලේයන් ප්‍රකාශ කළේ, පුද්ගලික දත්ත හුවමාරු කර නොගෙන වයස තහවුරු කළ හැකි නව යෙදුමක් (App) මේ වන විට තාක්ෂණිකව සූදානම් කර ඇති බවයි.
මෙම ක්‍රමවේදය මඟින් දරුවන්ට හානිකර විය හැකි අන්තර්ජාල අන්තර්ගතයන් වෙත පිවිසීම පාලනය කිරීමටත්, ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමටත් අපේක්ෂා කෙරේ. යුරෝපය පුරා ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ දරුවන්ගේ ඩිජිටල් ආරක්ෂාව සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් තීරණාත්මක පියවරක් වනු ඇත.














