මියන්මාරයේ හමුදා පාලනය විසින් පත්කරන ලද ජනාධිපති මින් අවුන් හ්ලියැං විසින් එරට සන්නද්ධ කැරලි කණ්ඩායම් සමඟ එළඹෙන ජූලි මස අවසානය වන විට සාම සාකච්ඡා පැවැත්වීමට යෝජනා කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් ප්‍රධාන පෙළේ කැරලි කණ්ඩායම් දෙකක් දැනටමත් එම යෝජනාව ප්‍රතික්ෂේප කර තිබේ.
වසර පහකට පෙර හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත් වූ මින් අවුන් හ්ලියැං ප්‍රකාශ කර ඇත්තේ, මෙතෙක් සටන් විරාම ගිවිසුම්වලට එළඹ නැති කැරලි කණ්ඩායම්වලට ජූලි 31 වැනිදාට පෙර සාකච්ඡා සඳහා එක්වන ලෙසයි. ඒ අනුව ඉදිරි දින 100 තුළ සාමකාමී විසඳුමකට එළඹීම ඔහුගේ අරමුණ වී තිබේ. එහෙත් කැරන් ජාතික සංගමය (KNU) ඇතුළු ප්‍රධාන කණ්ඩායම් මෙම ආරාධනය ප්‍රතික්ෂේප කර ඇත. KNU ප්‍රකාශක සෝ ටෝ නී සඳහන් කර ඇත්තේ, 2021 හමුදා කුමන්ත්‍රණයෙන් පසු තමන් පෙර පැවති සටන් විරාම ගිවිසුම්වලින් ඉවත් වූ බවත්, නැවත කිසිසේත් හමුදා පාලනය සමඟ සාකච්ඡා මේසයට නොපැමිණෙන බවත්ය.
හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියන්මාරය පුරා හටගත් සිවිල් යුද්ධය මේ වන විට දරුණු අතට හැරී ඇති අතර, රජයේ හමුදාවන්ට එරෙහිව සන්නද්ධ කණ්ඩායම් ප්‍රබල ප්‍රහාර එල්ල කරමින් සිටියි. ඉරාන යුද්ධය ඇතුළු ගෝලීය අර්බුද හමුවේ මියන්මාරයේ පවතින මෙම අභ්‍යන්තර ගැටුම කලාපීය ස්ථාවරත්වයට විශාල තර්ජනයක් වී ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














