ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ ගමන් පහසුව වෙනුවෙන් නිර්මාණය කරන ලද පත්ල පහත් (Low Floor) බස් රථ සේවාව නියමු ව්‍යාපෘතියක් ලෙස අද (21) මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ආරම්භ කෙරිණි. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද බස් රථ 10ක් මුලින්ම සේවයට එක් කර ඇත. රෝද පුටු භාවිත කරන මගීන්, දෘෂ්‍යාබාධිත පුද්ගලයින්, ගැබිණි මව්වරුන් සහ වැඩිහිටියන් හට ඉතා පහසුවෙන් බස් රථයට ඇතුළු වීමට හැකි වන පරිදි මෙහි පත්ල පහත් මට්ටමක පවතී. මගී ආසන 30කින් සමන්විත මෙම බස් රථ තුළ රෝද පුටු සඳහා වෙන් කළ විශේෂ ඉඩකඩක් ද පවතී.
මෙම නියමු සේවාව මාකුඹුර සිට කොළඹ කොටුව සහ මාකුඹුර සිට කඩවත දක්වා මාර්ගවල ක්‍රියාත්මක වේ. මෙමගින් කොළඹ ජාතික රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල වෙත යන විශේෂ අවශ්‍යතා සහිත රෝගීන්ට විශාල සහනයක් සැලසේ. මෙම වසර අවසන් වන විට මෙවැනි බස් රථ 122ක් දක්වා වැඩිකිරීමටත්, මහනුවර, මාතර, මඩකලපුව සහ යාපනය වැනි නගරවලටත් මෙම සේවාව ව්‍යාප්ත කිරීමට රජය සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවේදීම මගීන්ට බස් රථ පැමිණෙන වේලාවන් සහ තොරතුරු ක්ෂණිකව ලබාගත හැකි “LMT GO” ජංගම දුරකථන යෙදුම (App) ද හඳුන්වා දෙන ලදී. මෙය ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය වඩාත් මානුෂීය සහ තාක්ෂණික මුහුණුවරකින් නවීකරණය කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ.














