වර්තමාන රජය අසත්‍ය ප්‍රකාශ කරමින් ජනතාව මුළා කර ඇති බවත්, මැතිවරණ සමයේ ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීමට එරෙහිව මෙරට ලක්ෂ 220ක් ජනතාව රජයට එරෙහිව එන්තරවාසී යවන දිනය වැඩි ඈතක නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (21) පැවසීය.
විදුලි බිල 33%කින් අඩු කරන බවත්, වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දෙන බවත් පැවසුවද, අද වන විට බදු පිට බදු පටවා විදුලි බිල සහ ඉන්ධන මිල ඉහළ දමා ඇති බව ඒ මහතා සඳහන් කළේය. දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට පොරොන්දු වූ වන්දි මුදල් ද මෙතෙක් ලබා දී නොමැති බව ඔහු පැවසීය.
බාල ගල් අඟුරු ගෙන ඒම හරහා විශාල වංචාවක් සිදුව ඇති බවත්, එම බර ජනතාව පිට පටවා ඇති බවත් ඔහු චෝදනා කළේය. එසේම මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවා මාධ්‍ය මර්දනය කිරීමට රජය උත්සාහ කරන බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
රජයට ඇති ජනතා විරෝධය මැන බැලීමට හැකි නම් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ඔහු අභියෝග කළේය.
පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් අනාවරණය කර ගැනීමට නම් දේශපාලන බලපෑම්වලින් තොර විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයක් අවශ්‍ය බව ඔහු පැවසීය. මේ සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගත යුතු බවත්, පරීක්ෂණ දේශපාලනීකරණය කිරීමට ඉඩ නොතබන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














