මෙක්සිකෝවේ චිහුවාහුවා (Chihuahua) ප්‍රාන්තයේ සිදුවූ රිය අනතුරකින් ඇමෙරිකානු නිලධාරීන් දෙදෙනෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස මෙක්සිකානු ජනාධිපතිනි ක්ලෝඩියා ෂෙයින්බෝම් (Claudia Sheinbaum) නියෝග කර තිබේ. රහසිගත මත්ද්‍රව්‍ය රසායනාගාර විනාශ කිරීමේ මෙහෙයුමක නිරතව සිට ආපසු එමින් සිටියදී ඔවුන් ගමන් කළ රථය ප්‍රපාතයකට පෙරළී පිපිරී යාමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙම නිලධාරීන් ඇමෙරිකානු මධ්‍යම බුද්ධි තොරතුරු ඒජන්සියේ (CIA) සේවකයන් බවට වාර්තා පළ වී ඇති අතර, මෙවැනි ඒකාබද්ධ මෙහෙයුමක් පිළිබඳව තමා හෝ මධ්‍යම ආරක්ෂක අංශ දැනුවත්ව නොසිටි බව ජනාධිපතිනිය පවසයි. මෙක්සිකානු නීතියට අනුව විදේශීය නිලධාරීන්ට එරට තුළ මෙහෙයුම් සිදු කළ හැක්කේ මධ්‍යම රජයේ පූර්ව අනුමැතිය ඇතිව පමණක් වන අතර, මෙම සිදුවීම හරහා රටේ ස්වෛරීභාවය උල්ලංඝනය වී ඇත්දැයි සොයා බැලීමට ඇය උපදෙස් දී ඇත.
ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ මොවුන් තානාපති කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් බවයි. කෙසේ වෙතත්, වොෂින්ටන් පෝස්ට් ඇතුළු ප්‍රමුඛ පෙළේ පුවත්පත් වාර්තා කරන්නේ මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ක්‍රියා කරන CIA නිලධාරීන් බවයි. මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් එල්ල වන බලපෑම් මධ්‍යයේ මෙම අභ්‍යන්තර ගැටලුකාරී තත්ත්වය උද්ගත වී තිබේ.















