ඉස්තාන්බුල් නුවර හෝටලයක නිවාඩුවක් ගත කරමින් සිටියදී කෘමිනාශක විෂ වීමෙන් ජර්මානු ජාතික පවුලක සිව්දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝටල් සේවකයන් සහ පළිබෝධ පාලන සේවකයන් හය දෙනෙකුට එරෙහි නඩු විභාගය ඊයේ (21) තුර්කියේදී ආරම්භ විය.
තුර්කි සම්භවයක් සහිත මෙම ජර්මානු ජාතික ‘බොසෙක්’ (Böcek) පවුලේ සාමාජිකයන් පසුගිය නොවැම්බර් 12 වැනිදා ඉස්තාන්බුල්හි ෆාති දිස්ත්‍රික්කයේ පිහිටි ‘Harbour Suites Old City’ හෝටලයේ නැවතී සිටියදී හදිසියේ රෝගාතුර වී තිබේ. වමනය සහ ඔක්කාරය වැනි රෝග ලක්ෂණ හේතුවෙන් ඔවුන් එදින රෝහල් ගතව ප්‍රතිකාර ලබා නැවත හෝටලයට පැමිණ ඇත.
කෙසේ වෙතත්, පසුදින ඔවුන්ගේ තත්ත්වය දරුණු වීම නිසා ගිලන් රථ මගින් රෝහල් ගත කළද, එහිදී අවුරුදු තුනක් වයසැති මසාල් සහ හය හැවිරිදි කදිර් මුහම්මද් යන දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ හෝටලයේ භාවිත කළ ප්‍රබල කෘමිනාශක වර්ගයක් ආශ්වාස වීමෙන් මෙම විෂ වීම සිදු වී ඇති බවයි. නොසලකා හැරීම හේතුවෙන් මරණ සිදු කිරීම යන චෝදනා යටතේ අදාළ හෝටල් සේවකයන්ට සහ පළිබෝධ පාලන ආයතනයේ සේවකයන්ට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වේ.














