ලෙබනනයේ සහ පලස්තීනයේ සිදු වූ බව කියන යුද අපරාධ හේතුවෙන් ඊශ්‍රායලය සමඟ පවතින වෙළඳ ගිවිසුම (EU–Israel Association Agreement) අත්හිටුවීමට ස්පාඤ්ඤය, අයර්ලන්තය සහ ස්ලෝවේනියාව ඉදිරිපත් කළ යෝජනාව යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඊශ්‍රායලයට ලබා දී ඇති මනාප වෙළඳ පහසුකම් අවසන් කිරීම සඳහා ඉදිරිපත් වූ මෙම යෝජනාවට යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරුන් අතර ප්‍රමාණවත් සහයෝගයක් හිමි නොවීය. මෙය මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් යුරෝපා සංගමය තුළ පවතින මතභේදාත්මක තත්ත්වය යළිත් තහවුරු කරන්නකි.
ප්‍රධාන වෙළඳ ගිවිසුම අත්හිටුවීම ප්‍රතික්ෂේප වුවද, ආක්‍රමණය කර ඇති පලස්තීන ප්‍රදේශවල පිහිටි ඊශ්‍රායල පදිංචිකරුවන්ගේ (Settlements) නිෂ්පාදන සඳහා බදු පැනවීමට ප්‍රංශය සහ ස්වීඩනය ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.
යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කාජා කල්ලාස් (Kaja Kallas) මහත්මිය අවධාරණය කළේ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පවතින තත්ත්වය පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි. යුරෝපා සංගමයේ පදනම් වටිනාකම් සහ සදාචාරාත්මක වගකීම් ආරක්ෂා කරන ලෙස ස්පාඤ්ඤය සහ අයර්ලන්තය ඇතුළු රටවල් දිගින් දිගටම බලකර සිටියි.














