දකුණු ලෙබනනයේ ක්‍රිස්තියානි ගම්මානයක පිහිටි ජේසුස් වහන්සේගේ පිළිමයකට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ ඊශ්‍රායල සෙබළුන් දෙදෙනෙකුට දින 30ක හමුදා රැඳවුම් බාරයේ පසුවීමට සහ සටන් රාජකාරිවලින් ඉවත් කිරීමට ඊශ්‍රායල හමුදාව ඊයේ (21) පියවර ගත්තේය.
ඊශ්‍රායලයට මායිම්ව පිහිටි දකුණු ලෙබනනයේ ‘ඩෙබ්ල්’ (Debl) නම් ක්‍රිස්තියානි ගම්මානයක තිබූ කුරුසයකින් ගැලවී වැටී තිබූ ජේසුස් වහන්සේගේ පිළිමයක හිස කොටසට ඊශ්‍රායල සෙබළෙකු මිටියකින් (Sledgehammer) පහර දෙන අයුරු දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. මෙය ජාත්‍යන්තර වශයෙන් දැඩි දෝෂදර්ශනයට ලක් විය.
මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලූ හමුදා විමර්ශන මණ්ඩලය තීරණය කළේ අදාළ පිළිමයට හානි කළ සෙබළා සහ එම අවස්ථාව ඡායාරූපගත කළ සෙබළා වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් රාජකාරිවලින් ඉවත් කර දින 30ක සිර දඬුවමක් ලබා දීමටයි.
එම අවස්ථාවේ එතැන සිටිමින් මෙම විනාශය වැළැක්වීමට හෝ ඒ පිළිබඳව වාර්තා කිරීමට කටයුතු නොකළ තවත් සෙබළුන් හය දෙනෙකු ද වැඩිදුර විමර්ශන සඳහා කැඳවා තිබේ. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මහතා ද සඳුදා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තම හමුදා සෙබළෙකු කතෝලික ආගමික සංකේතයකට මෙලෙස හානි කිරීම පිළිබඳව තමන් දැඩි කම්පනයට හා කනගාටුවට පත්වන බවයි.














