පසුගිය අප්‍රේල් 12 වැනිදා පැවැති පේරු රාජ්‍යයේ මහා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම දිගින් දිගටම ප්‍රමාද වීමත් සමඟ එල්ල වූ දැඩි පීඩනය හමුවේ එරට මැතිවරණ බලධාරී ආයතනයේ (ONPE) ප්‍රධානියා වන පියරෝ කෝවෙටෝ (Piero Corvetto) ඊයේ (අඟහරුවාදා) සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
මැතිවරණ ක්‍රියාවලියේ තාක්ෂණික සහ ප්‍රවාහන ප්‍රමාදයන් පැවති බව පිළිගත් කෝවෙටෝ මහතා, කිසිදු අක්‍රමිකතාවක් සිදු නොවූ බව අවධාරණය කළේය. කෙසේ වෙතත්, ලබන ජූනි 07 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දෙවන වටය (Runoff) පිළිබඳව මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා තමා ඉල්ලා අස්වීම අත්‍යවශ්‍ය බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර තිබේ.
ප්‍රතිඵල ප්‍රමාද වීමත් සමඟ අපේක්ෂකයින් කිහිප දෙනෙකු සහ ව්‍යාපාරික නායකයින් විසින් මැතිවරණ වංචා සිදුව ඇති බවට චෝදනා කළහ. නමුත් යුරෝපීය සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් ප්‍රකාශ කළේ වංචාවක් සිදුවූ බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බවයි. මේ වන විට මැතිවරණ බලධාරීන් විසින් දෝෂ සහිත හෝ ගැටලු සහගත ඡන්ද පත්‍රිකා දහස් ගණනක් යළි සමාලෝචනය කරමින් සිටී.
පේරු මැතිවරණ මණ්ඩලය (JNE) විසින් පියරෝ කෝවෙටෝගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඇත. දැනට පවතින ගණන් කිරීම්වලට අනුව කොන්සර්වේටිව් මතධාරී අපේක්ෂිකා කේකෝ ෆුජිමෝරි (Keiko Fujimori) ඉදිරියෙන් සිටින නමුත්, දෙවන වටයේදී ඇය සමඟ තරඟ කරන්නේ කවුරුන්ද යන්න තවමත් ස්ථිර වී නොමැත.
මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය මැයි 15 වැනිදාට පෙර ප්‍රකාශයට පත් කරන බව එරට මැතිවරණ බලධාරීහු පවසති.














