ගෝතමාලා ජනාධිපති බර්නාඩෝ අරේවාලෝගේ (Bernardo Arevalo) ප්‍රධාන ප්‍රතිවාදිනියක වන සහ ජාත්‍යන්තර සම්බාධක රැසකට ලක්ව සිටින නීතිපතිනි කොන්සියුලෝ පෝරාස් (Consuelo Porras), සිය තෙවන ධුර කාලය සඳහා ඉදිරිපත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වීමත් සමඟ ලබන මාසයේදී ධුරයෙන් සමුගැනීමට නියමිතය.
ගෝතමාලා නීතිවේදීන්ගේ කොමිසමක් විසින් නීතිපති ධුරය සඳහා වන අවසන් අපේක්ෂක ලැයිස්තුවෙන් ඇයව ඉවත් කර තිබේ. සඳුදා රාත්‍රියේ පැවැති සිව්වන වටයේ ඡන්ද විමසීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව ඇයට සිය තෙවන සිව්වසරක ධුර කාලය සඳහා හිමිව තිබූ අවස්ථාව අහිමි විය.
2018 වසරේ සිට නීතිපති ධුරය දැරූ පෝරාස් මහත්මියට එරෙහිව දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද බරපතල චෝදනා එල්ල වී තිබේ. දූෂණ විරෝධී පරීක්ෂණ අඩාල කිරීම, මානව හිමිකම් ක්‍රියාකාරීන් දඩයම් කිරීම සහ 2023 ජනාධිපතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීමට උත්සාහ කිරීම වැනි චෝදනා මත ඇමරිකාව, කැනඩාව සහ යුරෝපා සංගමය ඇයට එරෙහිව සම්බාධක පනවා ඇත.
ජනාධිපති අරේවාලෝ පසුගියදා ප්‍රකාශ කළේ පෝරාස් මහත්මිය මෙම ධුරයට නුසුදුසු පුද්ගලයෙකු පමණක් නොව, ඇය රටට පවා අනතුරක් බවයි. එමෙන්ම 1980 දශකයේ සිදුවූ නීතිවිරෝධී දරුකමට හදා ගැනීම් රැසකට ඇය සම්බන්ධ බවට ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය මාසයේදී සැක පළ කළේය.
කෙසේ වෙතත්, කොන්සියුලෝ පෝරාස් මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ තමා නීතිපති ධුරයට අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා ඇති බවයි. ඇයගේ ඉවත් වීමත් සමඟ ගෝතමාලාවේ දූෂණ විරෝධී වැඩපිළිවෙල යළි ශක්තිමත් වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරති.














