වසර හතරකට අධික කාලයක් පවතින රුසියානු-යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින් ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සෘජු හමුවක් සංවිධානය කරන ලෙස යුක්රේනය තුර්කියෙන් ඉල්ලා තිබේ. යුක්රේන විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි සිබිහා (Andrii Sybiha) ප්‍රකාශ කළේ සාම සාකච්ඡා යළි පණ ගැන්වීම සඳහා මෙම ඉල්ලීම සිදු කළ බවයි. රුසියාවේ සමීප මිතුරෙකු වන බෙලාරුස් රාජ්‍යය හෝ රුසියාව හැර වෙනත් ඕනෑම රටකදී මෙම හමුව පැවැත්වීමට යුක්රේනය සූදානම් බව විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අන්කාරා (Ankara) පාලනය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති වුවද, තුර්කිය හැර වෙනත් මධ්‍යස්ථ රටක් මෙම හමුව සංවිධානය කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා ද යුක්රේනයේ එකඟතාව හිමිවනු ඇත. මීට පෙර රුසියාව විසින් සෙලෙන්ස්කි හට මොස්කව් වෙත පැමිණෙන ලෙස ඇරයුම් කළ ද යුක්රේන නායකයා එය ප්‍රතික්ෂේප කර තිබුණි. මේ අතර, හංගේරියාවේ මෑතකදී පැවැති මැතිවරණයෙන් පසු පත්වීමට නියමිත නව රජයේ විදේශ අමාත්‍යවරිය සමඟ ද යුක්රේන විදේශ අමාත්‍යවරයා මේ වන විටත් සන්නිවේදන කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.












