සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් (Samsung Electronics) සමාගමේ රහස්‍ය අර්ධ සන්නායක (Semiconductor) තාක්ෂණය චීන සමාගමකට කාන්දු කිරීමේ වරදට එම සමාගමේ හිටපු පර්යේෂකයෙකුට වසර හතක සිර දඬුවමක් නියම කිරීමට දකුණු කොරියානු අධිකරණයක් අද (22) පියවර ගත්තේය.
සෝල් මධ්‍යම දිස්ත්‍රික් අධිකරණය විසින් ලබාදුන් මෙම තීන්දුවට අනුව, විත්තිකරු කාන්දු කරන ලද දත්ත “ජාතික මූලික තාක්ෂණයන්” (National Core Technology) ගණයට අයත් වන බවත්, ඔහු කාර්මික තාක්ෂණ ආරක්ෂණ පනත උල්ලංඝනය කරමින් මෙම කුමන්ත්‍රණය මෙහෙයවා ඇති බවත් තහවුරු වී තිබේ. අදාළ පර්යේෂකයාගේ අනන්‍යතාවය හෙළි කර නොමැති අතර, ඔහු සිය ධුරයෙන් ඉවත් වීමෙන් පසු මෙම වටිනා තාක්ෂණික රහස් චීනය වෙත ලබා දී ඇති බව අධිකරණ වාර්තා පෙන්වා දෙයි.
ගෝලීය චිප් (Chip) නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්ත තරඟයක් පවතින පසුබිමක, දකුණු කොරියාව සිය තාක්ෂණික රහස් සුරැකීමට දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටී. මෙම සිර දඬුවම හරහා තාක්ෂණික සොරකම්වල නිරත වීමට උත්සාහ කරන පිරිස් වෙත ප්‍රබල පණිවිඩයක් නිකුත් කිරීමට දකුණු කොරියානු බලධාරීන් අපේක්ෂා කරයි.














