රටේ ආර්ථික මර්මස්ථානය බඳු කොළඹ වරායෙන් අනිවාර්ය භෞතික පරීක්ෂාවන් පවා මඟ හරිමින් බහාලුම් 323ක් කිසිදු බාධාවකින් තොරව පිටතට මුදා හැරීමේ මහා පරිමාණ සිදුවීම සම්බන්ධයෙන් වූ විමර්ශන මේ වන විට අතිශය තීරණාත්මක මෙන්ම උණුසුම් වටපිටාවකට අවතීර්ණ වී තිබේ. රජයට හිමිවිය යුතු අතිවිශාල ආදායමක් අහිමි කරමින් සිදුවූ මෙම අභිරහස් ගනුදෙනුව පිටුපස ඇති සැබෑ තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පත්කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු ජනතාවගේ දැඩි අවධානයට ලක්ව ඇති මොහොතක, අදාළ කමිටු සාමාජිකයින් විසින් ගනු ලැබූ නවතම තීරණය දේශපාලන කරළිය කැළඹීමට සමත්ව ඇත.
මෙම අතිශය සංවේදී සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු තීරණාත්මක පුද්ගලයින් සිව්දෙනෙකු කැඳවන ලෙස ඉල්ලමින් විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකයින් සිව්දෙනෙකු විසින් එහි සභාපති හර්ෂණ නානායක්කාර මහතා වෙත ලිපියක් යොමු කිරීමට සූදානම් වන බව වාර්තා වේ. ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාත්, අදාළ වකවානුවේ වරාය විෂය භාරව සිටි බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය ඡනිත රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන්ගෙන් මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ද මෙහිදී ප්‍රශ්න කිරීමට නියමිත අතර, රේගු වාර්තා ඇතුළු වැදගත් ලේඛන රැසක් මෙහිදී විමර්ශනයට ලක් කිරීමට නියමිතව ඇත.
අජිත් පී. පෙරේරා, දයාසිරි ජයසේකර, මුජිබර් රහුමාන් සහ ඩී.වී. චානක යන මන්ත්‍රීවරුන් විසින් සිදුකරන මෙම ඉල්ලීම හරහා වරාය පරිශ්‍රය තුළ සිදුවූ බව කියන මෙම මහා පරිමාණ අක්‍රමිකතාවයේ සුලමුල හෙළි කර ගැනීම ඔවුන්ගේ ප්‍රධාන අපේක්ෂාව වී තිබේ. රටේ නීතිය සහ පොදු දේපළ ආරක්ෂා කිරීමේ වගකීම දැරූ බලධාරීන් ඉදිරියේ මෙවැනි සිදුවීමක් සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව කෙරෙන මෙම අනාවරණය, ශ්‍රී ලංකාවේ අනාගත මූල්‍ය විනය සහ දූෂණ මර්ධන ක්‍රියාවලියේ හැරවුම් ලක්ෂයක් වනු නොඅනුමානය. සත්‍යය ජය ගන්නා තුරු මුළු රටම දැන් බලා සිටින්නේ වරාය දොරටුවෙන් රහසේ පිටවූ එම බහාලුම් පිටුපස සැඟවුණු සැබෑ හස්තයන් හෙළිවන තෙක්ය.













