පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලියේ පෙෂාවර් සල්මි කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දස්කම් දක්වන කුසල් මෙන්ඩිස්, එම කණ්ඩායම වෙනුවෙන් ලකුණු 500 සීමාව පසුකිරීමට ඉතා ආසන්නයට පැමිණ සිටියි. අද (අප්‍රේල් 22) කරච්චි කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී කුසල් නොදැවී ලකුණු 85ක් රැස්කළ අතර, ඒ සමඟ ඔහු මේ දක්වා ලබාගෙන ඇති සමස්ත ලකුණු සංඛ්‍යාව 493ක් දක්වා ඉහළ ගියේය.
මෙම තරගාවලිය තුළ මේ දක්වා තරග 8කට ක්‍රීඩා කර ඇති කුසල්, එක් ශතකයක් (109) සහ අර්ධ ශතක 4ක් ලබාගෙන තිබේ. ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 172.37ක් ලෙස සටහන් වන අතර ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 70.42ක් වැනි ඉහළ අගයක පවතී. දැනට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස පෙරමුණේ පසුවන්නේ ද ඔහු වන අතර, දෙවැනි ස්ථානයේ පසුවන බාබර් අසාම්ට වඩා (ලකුණු 426) ඔහු ඉදිරියෙන් සිටියි.
කුසල්ගේ මෙම ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් ඔහු නියෝජනය කරන පෙෂාවර් සල්මි කණ්ඩායම ද ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව ඇත. ඔවුන් මේ දක්වා ක්‍රීඩා කළ තරග 9න් 8ක්ම ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයකි.














