ශ්‍රී ලංකාවේ ජාතික නිවාස ප්‍රතිපත්තිය කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව, අඩු ආදායම්ලාභී ප්‍රජාව වෙනුවෙන් ගුණාත්මක නිවාස සහ යටිතල පහසුකම් සහතික කිරීම මෙහි මූලික අරමුණයි.
අවසන් වරට 2019 වසරේදී සංශෝධනය කරන ලද මෙම ප්‍රතිපත්තිය, නව ගෝලීය ප්‍රවණතා සහ ජනාවාසකරණයේ පවතින වත්මන් අභියෝග සැලකිල්ලට ගනිමින් යාවත්කාලීන කිරීමට නියමිතය. මෙම සංශෝධන ක්‍රියාවලිය මානව ජනාවාසකරණය පිළිබඳ විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් මගින් සිදු කිරීමට නියමිත අතර, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ අදාළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල එකඟතාව පළ වී ඇත.














