යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් කළු මුහුද ආසන්නයේ පිහිටි රුසියාවේ Tuapse තෙල් පිරිපහදුවේ හටගත් දැවැන්ත ගින්න අද (අප්‍රේල් 23) වන විටත් තෙවැනි දිනටත් ඇවිළෙමින් පවතින බව වාර්තා වේ. මෙම ගින්නත් සමඟ ප්‍රදේශයේ වායු ගෝලයට අහිතකර වායුන් මුදා හැරීම නිසා වායු තත්ත්වය (Air quality) දරුණු ලෙස පහත වැටී ඇති බව රුසියානු නිලධාරීහු පවසති.
පසුගිය අප්‍රේල් 16 වැනිදා එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පසුව පිරිපහදුවේ මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති අතර, ගින්න නිවීමට ගිනි නිවන භටයන් 276 දෙනෙකු සහ වාහන 77ක් යොදවා තිබේ. ගින්නෙන් නිකුත් වන දුමාරය වර්ෂාව සමඟ මුසුවීමෙන් ප්‍රදේශය පුරා “කළු පැහැති ස්ථරයක්” තැන්පත් වෙමින් පවතින බවත්, වාතයේ අඩංගු බෙන්සීන් (Benzene) වැනි විෂ වායුන් නියමිත මට්ටමට වඩා දෙතුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ. මේ හේතුවෙන් නිවෙස් තුළටම වී සිටින ලෙසත්, ජනෙල් කවුළු වසා තබන ලෙසත් ප්‍රදේශවාසීන්ට උපදෙස් දී ඇත.
ඇමෙරිකාවේ අවධානය ඉරාන යුද්ධය දෙසට යොමු වී ඇති අතරතුර, යුක්රේනය විසින් රුසියාවේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර මෙලෙස දැඩි කර තිබේ. මෙම ප්‍රහාරය නිසා වරායේ ප්‍රවාහන කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී ඇත.














